ලෝකයේ දියුණු රටවල් අතර 2027 වසර වනවිට විරැකියා අනුපාතය වැඩිම ප්‍රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇති රටක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ නවතම ලෝක ආර්ථික වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.
IMF පුරෝකථනයට අනුව 2026 වසරේදී 4.4%ක් වන ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 2027 වසරේදී සියයට 4.7ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, එම තත්ත්වය රැකියා විරහිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂයකින් පමණ ඉහළ යාමකට සමාන විය හැකි බවයි වාර්තා වන්නේ.
බොහෝ දියුණු රටවල විරැකියා අනුපාතය ස්ථාවරව පැවතීමට හෝ සුළු වශයෙන් පහත වැටීමට අපේක්ෂා කරන පසුබිමක ඔස්ට්‍රේලියාවේ විරැකියාව ඉහළ යාම ආර්ථික අභියෝගයක් බව IMF පෙන්වා දෙනවා.
මේ අතර 2026 වසරේදී ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය සියයට 3.9ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය දියුණු රටවල් අතර පස්වැනි ඉහළම උද්ධමන අනුපාතය ලෙස සැලකෙනවා.
අයිස්ලන්තය, ඊශ්‍රායලය, ග්‍රීසිය සහ නවසීලන්තය පමණක් ඔස්ට්‍රේලියාවට වඩා ඉහළ උද්ධමන අනුපාතයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සියයට 3.1ක් දක්වා පහත වැටුණද එය සංචිත බැංකුවෙහි සියයට 2ත් 3ත් අතර ඉලක්කයට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව සඳහන් වනවා.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය 2026 වසරේදී සියයට 1.9ක් සහ 2027 වසරේදී සියයට 1.6ක් දක්වා මන්දගාමී වනු ඇතැයි IMF පුරෝකථනය කර තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේදී සංචිත බැංකු අධිපති Michele Bullock අනතුරු අඟවා තිබුණේ උද්ධමනය පාලනය කිරීමේදී විරැකියා අනුපාතය සියයට 5ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.