Virgin Australia ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ කාන්තාවකට තම පියයුරු ප්‍රදේශය ආවරණය වන පරිදි ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස ගුවන් සේවිකාවක් දැනුම්දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුව තිබෙනවා.
මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ Instagramහි Followers 88,000කට අධික සංඛ්‍යාවක් සිටින 33 හැවිරිදි Fitness Influencer කෙනෙකු වන Caitlin Lyndon නමැති මෙල්බන්හි පදිංචි කාන්තාවක්.
ඇය තම සහකාරිය සමඟ Brisbane සිට Melbourne බලා පැමිණීමට Brisbane Domestic Airport වෙත ගොස් සිටියදී ගුවන් යානයට ගොඩවීමේ පෝලිමේදී මෙම සිද්ධිය සිදුවී තිබෙනවා.
එහිදී Virgin Australia සේවිකාවක් තම ඇඳුම ගුවන් සමාගමේ අවම ඇඳුම් ප්‍රමිතීන්ට නොගැළපෙන බව පවසමින් ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස දැනුම්දුන් බවයි ඇය චෝදනා කරන්නේ.
විශේෂත්වය වන්නේ තම සහකාරිය ද ඒ ආකාරයේම Sports Bra එකක්, ජැකට්ටුවක් සහ ව්‍යායාම සඳහා භාවිත කරන කලිසමක් ඇඳ සිටියද ඇයට කිසිදු අවවාදයක් නොකළ බව Caitlin සඳහන් කිරීමයි.
මෙම සිදුවීමෙන් තමන් දැඩි අපහසුතාවයට සහ ලැජ්ජාවට පත්වූ බවත්, එය ශරීරයේ පෙනුම පදනම් කරගත් වෙනස්කොට සැලකීමක් බවටත් ඇය චෝදනා කර තිබෙනවා.
මේ අතර Virgin Australia ගුවන් සමාගම සිදුවීම සම්බන්ධයෙන් අදාළ කාන්තාව සමඟ සෘජුව සම්බන්ධ වී සමාව ඉල්ලා ඇති අතර, සියලු මගීන්ට සාධාරණව සහ ගෞරවයෙන් සැලකීමට සමාගම කැපවී සිටින බව ප්‍රකාශ කර තිබෙනවා.
Virgin Australia ගුවන් සමාගමේ ඇඳුම් නීති අනුව මගීන් සුදුසු පාවහන්, ශරීරයේ පහළ කොටස ආවරණය වන ඇඳුමක් සහ උඩුකය ආවරණය වන ඇඳුමක් පැලඳ සිටිය යුතු වුවද, Sports Bra ඇඳීම තහනම් බවක් හෝ ජැකට්ටුවේ zip එක අනිවාර්යයෙන් වසා තිබිය යුතු බවක් එම නීතිවල නිශ්චිතව සඳහන් නොවන බවයි වාර්තා වන්නේ.