බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව Curtin University, Murdoch University සහ University of Western Australia යන විශ්වවිද්‍යාල තුන මෙම යෝජනාවට ඇතුළත් වනවා.
ඔක්තෝබර් 11 වැනිදා නිකුත් කළ නිල නිවේදනය අනුව, විශ්වවිද්‍යාල තුන ඒකාබද්ධ කිරීමෙන් අධ්‍යාපන ගුණාත්මකභාවය ඉහළ නැංවීම, පර්යේෂණ සඳහා වැඩි අරමුදල් ලබාගැනීම සහ ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කරගැනීම රජයේ ප්‍රධාන අරමුණු අතර වනවා.
මෙම ඒකාබද්ධ කිරීමෙන් ඇතිවිය හැකි ආර්ථික ප්‍රතිලාභ, වියදම් සහ විශ්වවිද්‍යාලවල අනාගත ක්‍රියාකාරිත්වය පිළිබඳව විශේෂඥ කමිටුවක් මඟින් අධ්‍යයනය කිරීමට නියමිතයි.
2025 වසරේ සිදුකළ පිරිවැය හා ප්‍රතිලාභ විශ්ලේෂණයකින් විශ්වවිද්‍යාල ඒකාබද්ධ කිරීමේ විකල්ප යටතේ ඉදිරි වසර 20 තුළ ඩොලර් බිලියන 7.6ක් දක්වා ශුද්ධ ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල තුන ඒකාබද්ධ කිරීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ඒ පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනය 2027 වසරේදී අවසන් කිරීමෙන් පසුව රජය අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
දැනට මෙම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව ද බටහිර ඔස්ට්‍රේලියානු රජය තහවුරු කර තිබෙනවා.