වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින අනතුරුදායක වළවල් නිසි ලෙස අලුත්වැඩියා නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත් මෙල්බන්හි ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් තමන්ගේ මුදල් වැයකර මාර්ගයක වළක් වසා දැමීමේ සිද්ධියක් වාර්තා වනවා.
Mornington Peninsula ප්‍රදේශයේ Baxter-Tooradin Road මාර්ගයේ සති ගණනාවක් තිස්සේ පැවති විශාල වළක් Inside & Out Demolition ආයතනයේ හිමිකරු Peter Gleeson ඇතුළු සේවකයන් විසින් අලුත්වැඩියා කර තිබෙනවා.
මෙම වළ හේතුවෙන් වාහන රැසකට හානි සිදුව ඇති අතර, තම බිරිඳ ද එම වළ මඟහැර යාමට උත්සාහ කිරීමේදී අනතුරකට ලක්වීමට ආසන්න වූ බවයි ව්‍යාපාරිකයා පවසා ඇත්තේ.
ඒ අනුව සේවකයන් කැඳවා කිලෝග්‍රෑම් 100ක පමණ අලුත්වැඩියා ද්‍රව්‍ය භාවිතයෙන් විනාඩි 30ක් ඇතුළත වළ වසා දැමීමට ඔහු පියවර ගෙන ඇති අතර, ඒ සඳහා ඩොලර් 500ක් පමණ වැය වී තිබෙනවා.
කම්කරුවන් මාර්ගයේ රථවාහන පාලනය කරමින් වළ අලුත්වැඩියා කරන ආකාරය දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ජනප්‍රිය වී ඇති අතර, බොහෝ දෙනෙකු ඔවුන්ගේ ක්‍රියාව අගය කර තිබෙනවා.
මේ අතර වික්ටෝරියානු විගණකාධිපති කාර්යාලයේ නවතම වාර්තාව අනුව, 2024 වසරේදී ප්‍රාන්ත රජය යටතේ පවතින මාර්ග ජාලයෙන් සියයට 48ක් දුර්වල හෝ ඉතා දුර්වල තත්ත්වයේ පැවති බව හෙළිවී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත රජය මාර්ගවල වළවල් අලුත්වැඩියා කිරීම සඳහා අතිරේක ඩොලර් මිලියන 352ක් වෙන්කර ඇති අතර, 2026–27 මූල්‍ය වර්ෂයේ මුළු මාර්ග නඩත්තු අරමුදල ඩොලර් බිලියන 1.4කට ආසන්න වනවා.