කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ළමුන්ට අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපයෝජන ඉහළ යාමේ අවදානම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අවධානය යොමු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ අන්තර්ජාලය හරහා ලිංගික අපයෝජනයට ලක්වන තරුණ පිරිස් ඇතැම් අවස්ථාවලදී පොලිසිය හෝ වෙනත් බලධාරීන්ගෙන් උදව් ඉල්ලීමට වඩා කෘත්‍රිම බුද්ධි සංවාද සේවා වෙත යොමුවීමට වැඩි නැඹුරුවක් දක්වන බවයි.
විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය යොදාගෙන තරුණයන්ගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීම හෝ වෙනස් කිරීම ඇතුළු ඡායාරූප පදනම් කරගත් ලිංගික අපයෝජන පිළිබඳවද පර්යේෂණයෙන් අවධානය යොමු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් ක්‍රිසි බැරට් පෙන්වා දෙන්නේ මෙවැනි අපයෝජනවලට මුහුණ දෙන ළමුන් ආරක්ෂා කිරීම සඳහා තාක්ෂණික හැකියාවන් සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බවයි.
මේ අතර, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ Monash විශ්වවිද්‍යාලයේ AiLECS පර්යේෂණාගාරය එක්ව අන්තර්ජාලය හරහා ලැබෙන වාර්තා හඳුනාගෙන ඒවායේ අවදානම් මට්ටම ඉක්මනින් තක්සේරු කිරීමට උපකාරී වන නව මෙවලමක් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.
මෙම මෙවලම මඟින් තමන්ටම හානි කරගැනීමේ අවදානමක් ඇති ළමුන් සම්බන්ධ වාර්තා කලින් හඳුනාගෙන, අවශ්‍ය සහාය සහ ආරක්ෂාව කඩිනමින් ලබාදීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරනවා.
එමෙන්ම, අන්තර්ජාල වේදිකා නිර්මාණය කරන අවස්ථාවේ සිටම ආරක්ෂක පහසුකම් ඇතුළත් කිරීම සහ කෘත්‍රිම බුද්ධි සංවාද සේවා මඟින් අවදානමට ලක්විය හැකි ළමුන්ට නිවැරදි උපදෙස් ලබාදීම සහතික කිරීම සම්බන්ධයෙන්ද තාක්ෂණික සමාගම් සමඟ සාකච්ඡා පවත්වන බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සඳහන් කරනවා.