රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේ මාරාන්තික වසංගත රෝග පිළිබඳ පර්යේෂණ සිදුකරන රසායනාගාරයක සේවිකාවක් අභිරහස් ලෙස මියයාමත් සමඟ ඇතිවූ සෞඛ්‍ය අවදානම පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය ද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.
රුසියාවේ Irkutsk ප්‍රදේශයේ පිහිටි වසංගත රෝග පර්යේෂණ ආයතනයේ සේවය කළ 28 හැවිරිදි Darya Shipilova නමැති කාන්තාව ඔක්තෝබර් 2 වනදා මියගොස් ඇති අතර, ඇයගේ මරණයට මාරාන්තික Plague රෝගය හේතුවී ඇති බවටයි සැක මතුව ඇත්තේ.
මෙම සිද්ධියෙන් අනතුරුව ඇය සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් නිරෝධායනයට සහ වෛද්‍ය නිරීක්ෂණයට යොමුකර ඇති බව වාර්තා වනවා.
රසායනාගාරයකින් රෝගකාරක බැක්ටීරියාවක් පිටතට පැතිරී ඇති බවට ද සැක පළවී තිබුණත්, එවැනි අනතුරක් සිදුවූ බව මෙතෙක් තහවුරු වී නැහැ.
රුසියානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ අදාළ කාන්තාව මියගොස් ඇත්තේ හේතුව නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් බවයි.
එමෙන්ම තවත් පුද්ගලයෙකුට රෝගය ආසාදනය වී ඇති බවට පළවන වාර්තා ද රුසියානු සෞඛ්‍ය බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔක්තෝබර් 8 වනදා නිකුත් වූ නවතම තොරතුරු අනුව සිදුකළ පරීක්ෂණ 5,000කට ආසන්න සංඛ්‍යාවකින් භයානක රෝගකාරක හඳුනාගෙන නොමැති බව රුසියානු බලධාරීන් පවසනවා.
මේ අතර ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති Richard Marles ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙතෙක් ලැබී නොමැති බැවින් Australian Centre for Disease Control ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට දැනට වැඩි සෞඛ්‍ය අවදානමක් නොමැති බව රජය අවධාරණය කරනවා.
Plague රෝගය බැක්ටීරියාවක් මඟින් ඇතිවන බරපතළ ආසාදනයක් වන අතර, ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් ප්‍රතිකාර කළ හැකි රෝගයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ඉල්ලා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය රුසියාවේ තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් පසුවනවා.