ඔස්ට්‍රේලියාවේ ආදිවාසී තරුණයන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවලට වරදකරු වූ හිටපු කතෝලික රදගුරුවරයෙකුට වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
බටහිර ඔස්ට්‍රේලියාවේ Broome ප්‍රදේශයේ හිටපු රදගුරු 76 හැවිරිදි Christopher Saundersට අධිකරණය මෙම දඬුවම නියම කළා.
2008 සිට 2019 දක්වා කාලය තුළ සිදුකළ ලිංගික අපරාධ 13කට ඔහු වරදකරු වී ඇති අතර, ඒ අතර කැමැත්තකින් තොරව ලිංගික ක්‍රියාවක නිරතවීමේ චෝදනාවක් ද ඇතුළත් වනවා.
අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ ඔහු සිය ආගමික තනතුරේ බලය සහ විශ්වාසය අනිසි ලෙස භාවිත කරමින් තරුණයන්ට මත්පැන් සහ වෙනත් පහසුකම් ලබාදී ඔවුන් අපයෝජනයට ලක්කර ඇති බවයි.
වසර හයකට පෙර 7NEWS සිදුකළ විමර්ශනයකින් මෙම චෝදනා ප්‍රසිද්ධියට පත්වූ අතර, පසුව පොලිස් පරීක්ෂණ සහ වතිකානුවේ විමර්ශනයක්ද සිදුකර තිබෙනවා.
දඬුවම නියම කරමින් විනිසුරු Martin Flynn ප්‍රකාශ කර ඇත්තේ වින්දිතයන් අදටත් මුහුණදෙන මානසික හානියට හිටපු රදගුරුවරයා වගකිව යුතු බවයි.
මෙම තීන්දුවත් සමඟ Christopher Saunders ඔස්ට්‍රේලියාවේ ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ ඉහළම තනතුරු දැරූ කතෝලික පූජකවරයෙකු ලෙස ඉතිහාසයට එක්වන අතර, ඔහුට 2031 පෙබරවාරි මාසයේදී කොන්දේසි සහිත නිදහස සඳහා සුදුසුකම් ලැබිය හැකි වෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියානු කතෝලික පල්ලියේ නායකත්වය වින්දිතයන්ගෙන් සමාව ඉල්ලා ඇති අතර, හිටපු රදගුරුවරයාගේ ආගමික තනතුර සම්බන්ධයෙන් වතිකානුව ගන්නා ඉදිරි පියවර පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.