ඔස්ට්රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ විශ්වවිද්යාල සිසුන්ට සහනයක් ලබාදීම සඳහා ක්රියාත්මක Commonwealth Prac Payment (CPP) වැඩසටහන තවත් අධ්යයන ක්ෂේත්ර 10ක් දක්වා පුළුල් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ තම අධ්යයන පාඨමාලාවේ අනිවාර්ය ප්රායෝගික පුහුණු කාලසීමාව සම්පූර්ණ කරන සුදුසුකම් ලත් සිසුන්ට 2026 වසරේදී සතියකට ඩොලර් 338.60ක දීමනාවක් ලබා දෙනවා.
දැනට මෙම දීමනාව ගුරු අධ්යාපනය, හෙද සේවය, වින්නඹු සේවය සහ සමාජ සේවා යන ක්ෂේත්රවල අධ්යාපනය ලබන සුදුසුකම් ලත් සිසුන් සඳහා ලබාදෙන අතර, 2027 ජූලි පළමුවැනිදා සිට තවත් සෞඛ්ය සේවා ආශ්රිත ක්ෂේත්ර 10කට එය ව්යාප්ත කිරීමට නියමිතයි.
ඒ අනුව Physiotherapy, Occupational Therapy, Clinical Psychology, Speech Pathology, Paramedicine, Radiography, Pharmacy, Audiology, Podiatry සහ Rehabilitation Therapies යන ක්ෂේත්රවල අධ්යාපනය ලබන සුදුසුකම් ලත් සිසුන්ට ද මෙම දීමනාව ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.
අනිවාර්ය ප්රායෝගික පුහුණුව හේතුවෙන් අර්ධකාලීන රැකියාවල නිරතවීමට ඇති අවස්ථා සීමාවන සිසුන්ගේ මූල්ය අපහසුතා අවම කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වී තිබෙනවා.
රජයේ ඇස්තමේන්තු අනුව මෙම වැඩසටහන පුළුල් කිරීමෙන් පසු වාර්ෂිකව සිසුන් 95,000කට පමණ ප්රතිලාභ හිමිවනු ඇති අතර, ඒ අතරට අලුතින් සුදුසුකම් ලබන සෞඛ්ය ක්ෂේත්රවල උසස් අධ්යාපන සිසුන් 21,000ක් පමණ ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත්, මෙම දීමනාව ජාත්යන්තර සිසුන්ට හිමි නොවන අතර, ඔස්ට්රේලියානු පුරවැසිභාවය හෝ සුදුසු නේවාසික තත්ත්වය ඇතුළු අනෙකුත් අවශ්යතා සපුරාලන සිසුන්ට තම අධ්යාපන ආයතනය හරහා අයදුම් කළ හැකියි.