Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්යවල පරිශීලකයන්ට පෙන්වන අන්තර්ගතය තමන්ගේ කැමැත්ත අනුව පාලනය කිරීමට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්රේලියානු ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.
අග්රාමාත්ය Anthony Albanese ප්රකාශ කර ඇත්තේ, සමාජ මාධ්ය භාවිත කරන ජනතාවට තමන් දකින අන්තර්ගතය පිළිබඳ වැඩි පාලනයක් ලබාදීම සහ දරුවන් අන්තර්ජාලයේ හානිකර අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා කිරීම මෙම නව නීතිවල ප්රධාන අරමුණ බවයි.
My Feed, My Way නමින් හඳුන්වාදී ඇති මෙම වැඩපිළිවෙළ යටතේ සමාජ මාධ්යවල Algorithm මගින් නිර්දේශ කරන අන්තර්ගතයන් තමන්ගේ Feed එකට ඇතුළත් කරගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට වයස අවුරුදු 16ට වැඩි පරිශීලකයන්ට අවස්ථාව හිමිවනු ඇති.
ඒ අනුව, Facebook සහ Instagram වැනි සමාජ මාධ්ය ආයතනවලට පරිශීලකයන්ගේ Feed සැකසුම් පිළිබඳ තේරීමක් ලබාදීමට සිදුවන අතර, එම තේරීම පිළිබඳ දැනුම්දීමක් පරිශීලකයන් වෙත යොමු කිරීමට ද නියමිතයි.
මීට අමතරව දරුවන්ට අහිතකර අන්තර්ගතයන්, අන්තර්ජාල හිරිහැර, අසභ්ය දර්ශන සහ ප්රචණ්ඩත්වය ප්රවර්ධනය කරන අන්තර්ගතයන්ගෙන් ආරක්ෂාව සැලසීම සඳහා ඩිජිටල් සේවා සපයන සමාගම්වලට වැඩි වගකීමක් පැවරීමට ද රජය යෝජනා කර තිබෙනවා.
Digital Duty of Care නමින් හඳුන්වාදී ඇති මෙම නීති යෝජනාවලට අනුකූලව කටයුතු නොකරන තාක්ෂණික සමාගම්වලට විශාල දඩ මුදල් පැනවීමේ හැකියාව ද ඇතුළත් වන අතර, මේ සම්බන්ධයෙන් අදහස් ප්රකාශ කිරීමේ නිදහස පිළිබඳ විපක්ෂයෙන් විවේචන එල්ල වී තිබෙනවා.