ඔස්ට්රේලියාවේ Centrelink ආයතනය මගින් ක්රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන ක්රියාවලිය ආරම්භ කර තිබෙනවා.
භූගෝලීය දුරස්ථභාවය, ආබාධිත තත්ත්වයන් හෝ විශේෂ අවශ්යතා හේතුවෙන් තම ප්රදේශයේ රජයේ පාසලකට යාමට නොහැකි දරුවන්ගේ අධ්යාපනය සඳහා මෙම මූල්ය ආධාර වැඩසටහන ක්රියාත්මක වනවා.
ඒ අනුව, මෙම දීමනාව ලබන පවුල්වල දෙමාපියන්ගේ සහ දරුවන්ගේ තත්ත්වයන් නැවත පරීක්ෂා කිරීම සඳහා ඔක්තෝබර් මාසයේදී Centrelink ආයතනයෙන් ලිපි යොමු කෙරෙන අතර, එම ලිපියේ සඳහන් තොරතුරු පෝරමය සම්පූර්ණ කර දින 28ක් ඇතුළත නැවත ඉදිරිපත් කළ යුතුයි.
අදාළ පෝරමය myGov වෙත සම්බන්ධ Centrelink ගිණුම හෝ Express Plus Centrelink ජංගම යෙදුම හරහා ඉදිරිපත් කළ හැකි අතර, අවශ්ය නම් තැපෑලෙන් හෝ Centrelink සේවා මධ්යස්ථානයකට පැමිණ භාරදීමට ද අවස්ථාව ලබාදී තිබෙනවා.
දීමනාව අඛණ්ඩව ලබාගැනීමට අවශ්ය තොරතුරු සහ සාක්ෂි ලේඛන නිසි පරිදි ඉදිරිපත් නොකළහොත් සමාලෝචන ක්රියාවලිය ප්රමාද විය හැකි බවයි Services Australia ආයතනය පෙන්වා දෙන්නේ.
දෙසැම්බර් 31 වැනිදාට පෙර සමාලෝචනය සම්පූර්ණ නොකරන පවුල්වල දීමනා ගෙවීම් නතර වන අතර, නියමිත කාලයෙන් පසුව තොරතුරු ඉදිරිපත් කළහොත් සුදුසුකම් අනුව එම ගෙවීම් නැවත ආරම්භ කිරීමට හැකියාව පවතිනවා.
කෙසේ වෙතත්, ප්රමාද වූ සමාලෝචන සම්පූර්ණ කිරීම සඳහා අමතර කාලයක් ලබාදී ඇති අතර, අදාළ සුදුසුකම් සපුරාලන පවුල්වලට ඇතැම් අවස්ථාවලදී අහිමි වූ දීමනා නැවත ලබාගැනීමට ද හැකියාව පවතින බව Services Australia ආයතනය සඳහන් කරනවා.
වැඩිදුර තොරතුරු සඳහා Centrelink Assistance for Isolated Children දුරකථන අංකය වන 132 318 අමතන ලෙස දැනුම් දී තිබෙනවා.