ශ්‍රී ලංකාවට කෙටි කාලීන සංචාරයක් සඳහා පැමිණෙන විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට Electronic Travel Authorization හෙවත් ETA සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක් පවතිනවා.
ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැනට පළකර ඇති නිල තොරතුරු අනුව, Australia ඇතුළු රටවල් 40ක පුරවැසියන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ETA ලබාගත යුතුයි.
ඒ නිසා “කටුනායකට ගියාම Visa on Arrival එක ගන්න පුළුවන්” යන පැරණි තොරතුරු මත පමණක් විශ්වාසය තබා ගමන් කිරීම සුදුසු නැහැ.
ශ්‍රී ලංකා රජයේ නිල ETA වෙබ් අඩවියද කෙටි කාලීන සංචාරයක් සඳහා පැමිණෙන අය ගමනට පෙර Online මාර්ගයෙන් ETA අනුමැතිය ලබාගත යුතු බව සඳහන් කරනවා.
විශේෂයෙන් Australian passport එකක් භාවිත කර ශ්‍රී ලංකාවට holiday එකක්, පවුලේ අය හමුවීමක් හෝ වෙනත් සංචාරක කටයුත්තක් සඳහා යන අයට මෙය වැදගත් වනු ඇති.
ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 40ක් නොමිලේ ETA ලැයිස්තුවට ඇතුළත් අතර, 2026 මැයි 25 සිට දින 30ක Tourist ETA එක නොමිලේ ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම දින 30ක සංචාරක අවසරය තුළ දෙවරක් ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ පහසුකම ද ලබාදී ඇති අතර, දින 30කට වැඩි කාලයක් රැඳී සිටීමට අවශ්‍ය නම් අදාළ ගාස්තු ගෙවා visa extension එකක් ඉල්ලීමට හැකියි.
ETA අයදුම්පත ශ්‍රී ලංකා රජයේ නිල ETA වෙබ් අඩවිය හරහා online ඉදිරිපත් කළ හැකියි.
අයදුම් කිරීමේදී passport number, nationality සහ උපන් දිනය නිවැරදිව ඇතුළත් කිරීම ඉතා වැදගත් බවත්, ETA සඳහා භාවිත කළ එම passport එකම ශ්‍රී ලංකාවට ඇතුළුවීමේදී භාවිත කළ යුතු බවත් නිල වෙබ් අඩවිය සඳහන් කරනවා.
ETA එක තිබුණත් ශ්‍රී ලංකාවට ඇතුළුවීම ස්වයංක්‍රීයව සහතික නොවන අතර, ගුවන් මගින් පැමිණෙන අයගෙන් ආපසු යන ගුවන් ටිකට්පතක් සහ සංචාරයේ වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් ඇති බවට සාක්ෂි ඉල්ලා සිටිය හැකි බව ද නිල කොන්දේසිවල සඳහන්.
2025 ඔක්තෝබර් මාසයේදී ETA අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් පසුව අවලංගු කිරීම නිසා මේ සම්බන්ධයෙන් ජනතාව අතර යම් ව්‍යාකූලතාවයක් ඇතිව තිබුණා.
නමුත් 2026 මැයි 25 සිට ක්‍රියාත්මක නවතම නිල දැනුම්දීමේදී ඔස්ට්‍රේලියාව ඇතුළු අදාළ රටවල් 40ක පුරවැසියන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ETA ලබාගත යුතු බවයි පැහැදිලිව සඳහන් කර ඇත්තේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට යන අය සඳහා ආරක්ෂිතම ක්‍රමය වන්නේ ගමන ආරම්භ කිරීමට පෙර නිල ETA පද්ධතිය හරහා online අයදුම් කර අනුමැතිය ලබාගෙන යාමයි.









