වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම පිළිබඳව මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බව අගමැති හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මෙම සාකච්ඡා දරුවන්ගේ මානසික හා සමාජීය සෞඛ්‍යය, ඩිජිටල් ආරක්ෂාව සහ ජාත්‍යන්තර ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් සිදු කෙරෙන බවයි ඇය සඳහන් කළේ.
ඒ අනුව වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සකස් කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ජංගම දුරකථන ඇබ්බැහිවීමෙන් වයස අවුරුදු 18ට අඩු දරුවන් මුදා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇති අතර එහි ප්‍රතිඵල යහපත් බවද අගමැතිවරිය පැවසුවා.
මේ අතර, ඔස්ට්‍රේලියාවද වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සඳහා නව නීති හඳුන්වා දී ඇති අතර, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සමාජ මාධ්‍ය සමාගම්වලට දැඩි වගකීම් පනවා තිබෙනවා.
දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම මෙම පියවරවල ප්‍රධාන අරමුණ බවයි දෙරටේම බලධාරීන් අවධාරණය කරන්නේ.
ඒ අනුව, දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ ප්‍රවණතාව ලොව රටවල් රැසක් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විචාරකයන් පෙන්වා දෙනවා.









