නිව්කාසල්හි Hunter School of Performing Arts පාසලේ 10 වැනි ශ්‍රේණියේ සිසුන් පිරිසක් තමන්ම නිර්මාණය කළ අධි-උස කාලගුණ බැලූන දෙකක් නිව් සවුත් වේල්ස්හි Cobar ප්‍රදේශයෙන් සාර්ථකව අහසට යවා තිබෙනවා.
බැලූන දෙක පෘථිවියෙන් කිලෝමීටර් 35ක් පමණ ඉහළට ගමන් කර උෂ්ණත්වය, ආර්ද්‍රතාව, වායු පීඩනය, වේගය සහ පිහිටීම ඇතුළු දත්ත රැස් කර ඇති බවයි වාර්තා වන්නේ.
බැලූනවලින් එකක් අතරමගදී ගැටලුවකට ලක්වුවද, අනෙක් බැලූනය සැලසුම් කළ උසට ළඟා වී පැරෂූටයක් මඟින් ආරක්ෂිතව නැවත බිමට පැමිණ තිබීමද විශේෂත්වයක්.
එම බැලූනය පෘථිවියේ අපූරු ඡායාරූප කිහිපයක්ද සටහන් කරගෙන තිබුණා.
මෙම ව්‍යාපෘතිය සඳහා සිසුන් ඕස්ට්‍රේලියානු ඩොලර් 15,000ක් ස්වයංව එකතු කර තිබූ අතර, මෙය ඔවුන්ගේ දෙවැනි සාර්ථක අධි-උස බැලූන මෙහෙයුම ලෙසද සැලකෙනවා.
ගුරුවරුන් පවසන්නේ මෙවැනි ව්‍යාපෘති මඟින් සිසුන්ගේ විද්‍යාත්මක සහ ඉංජිනේරු හැකියාවන් වර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලැබෙන බවයි.









