වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිතදිග වෙරළ තීරයට ආසන්න ප්‍රදේශයක රික්ටර් පරිමාණ 3.8 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව වාර්තා වනවා.
භූ විද්‍යා පර්යේෂණ ආයතනය (Geoscience Australia) සඳහන් කරන්නේ, මෙම භූමිකම්පාව පස්වරු 1:40 ට පමණ Great Ocean Road ආශ්‍රිත Apollo Bay සහ Port Campbell යන ප්‍රදේශ අතර සිදුව ඇති බවයි.
පොළොව මතුපිට සිට 10km ක් පමණ ගැඹුරින් මෙහි කේන්ද්‍රය පිහිටා තිබූ බව ද වාර්තා වනවා.
මෙම භූචලනයේ බලපෑම භූමිකම්පාව සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් ගණනාවක් ඈතින් පිහිටි Ballarat, Geelong සහ Melbourne යන ප්‍රධාන නගරවල වැසියන්ට පවා දැනී ඇති අතර, ඒ පිළිබඳව වාර්තා 60 කට අධික සංඛ්‍යාවක් භූ විද්‍යා ආයතනය වෙත ලැබී තිබෙනවා.
වාර්ෂිකව මිලියන සංඛ්‍යාත විදේශීය සංචාරකයින් පැමිණෙන ලෝක ප්‍රකට Twelve Apostles පාෂාණ පිහිටි ස්ථානයේ සිට මිනිත්තු 20ක පමණ ධාවන දුරකින් මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය පිහිටා තිබීම විශේෂත්වයක්.
භූමිකම්පාව හේතුවෙන් තම නිවෙස්වල තිබූ බඩු බාහිරාදිය තත්පර කිහිපයක් පුරා දරුණු ලෙස සෙලවීමට ලක්වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ විශාල දේපළ හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නැහැ.









