2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන් සඳහා වෙන්කර ඇති අවස්ථා 26,000කින් පමණ ඉහළ නංවා තිබෙනවා.
Australian Tertiary Education Commission (ATEC) විසින් නිකුත් කළ නවතම තොරතුරු අනුව, 2027 වසරේදී විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන දේශීය සිසුන් සඳහා වන මුළු ප්‍රවේශ සීමාව 270,000කට ආසන්න මට්ටමකට ඉහළ නංවා තිබෙනවා.
එය 2026 වසරට සාපේක්ෂව නවක සිසුන් 26,000කට පමණ වැඩි ප්‍රමාණයකට අවස්ථාව ලබාදිය හැකි වෙනසක් ලෙස සැලකෙනවා.
විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දැඩි තරගයක් පවතින Sydney නගරයේ පමණක් නවක සිසුන් සඳහා අමතර අවස්ථා 4,400ක් වෙන්කර තිබෙනවා.
2026 වසරේදී ඔස්ට්‍රේලියානු රජය විසින් Domestic Students සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ සීමාවන් හඳුන්වා දුන් අතර, එමඟින් ඇතැම් ජනප්‍රිය විශ්වවිද්‍යාලවලට අතිරේක සිසුන් බඳවා ගැනීම සීමා කෙරුණා.
කෙසේ වෙතත්, අලුත්ම තීරණය අනුව 2027 වසරේදී කිසිදු විශ්වවිද්‍යාලයක නවක සිසුන් සඳහා වන ප්‍රවේශ සීමාව පෙර වසරට වඩා අඩු කර නොමැති බවයි වාර්තා වන්නේ.
2027 වසර සඳහා රජයේ සහනාධාර සහිත Commonwealth Supported Places වෙනුවෙන් විශ්වවිද්‍යාලවලට වෙන්කර ඇති මුළු අධ්‍යයන ධාරිතාව Full-Time Equivalent පදනම මත 620,000කට අධික වනවා.
එමෙන්ම විශ්වවිද්‍යාලවලට තමන්ට වෙන්කර ඇති ප්‍රමාණයට වඩා උපරිම 5%ක අතිරේක සිසුන් සංඛ්‍යාවක්, සිසුන්ගේ දායකත්වයෙන් පමණක් අරමුදල් සපයන පදනමක් යටතේ බඳවා ගැනීමට ද අවසර හිමිවනවා.
මෙම නව ක්‍රමය හේතුවෙන් 2026 වසරේ Year 12 විභාගයට පෙනී සිටින සිසුන්ට 2027දී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමේ අවස්ථා සීමා වීමේ අවදානම අඩුවනු ඇති බවයි අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම ATAR ලකුණු සීමාවන් සහ අනෙකුත් ප්‍රවේශ සුදුසුකම් විශාල වශයෙන් වෙනස් කිරීමට විශ්වවිද්‍යාලවලට අවශ්‍ය නොවන ආකාරයෙන් නව සීමාවන් සකස් කර ඇති බව ATEC සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මෙම ප්‍රවේශ සීමාවන් 2027 වසර සඳහා අදාළ වන අතර, 2028 වසරේදී ඒවා වෙනස් විය හැකි බවට ද අධ්‍යාපන විශේෂඥයන් අනතුරු අඟවනවා.
මෙම නව ප්‍රවේශ සීමාවන් ඔස්ට්‍රේලියානු පුරවැසියන්, Permanent Residents සහ අනෙකුත් සුදුසුකම් ලබන Domestic Students සඳහා අදාළ වනවා.