ඔස්ට්රේලියානුවන් Uber Eats වැනි ආහාර බෙදාහැරීමේ සේවා ඇතුළු අත්යවශ්ය නොවන මිලදී ගැනීම් සඳහා වැය කරන මුදල් අඩු කිරීමෙන් නිවාස ණය පොලියෙන් ඩොලර් 65,000කට වැඩි මුදලක් ඉතිරි කරගත හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
Youi ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව, සාමාන්ය ඔස්ට්රේලියානුවෙකු අත්යවශ්ය නොවන මිලදී ගැනීම් සඳහා මාසයකට ඩොලර් 165ක් පමණ වැය කරනවා.
සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් අඩක් පමණ මාසයකට අවම වශයෙන් ඩොලර් 100ක් මෙවැනි වියදම් සඳහා යොදවන අතර, සියයට 25ක් මාසිකව ඩොලර් 200ක් හෝ ඊට වැඩි මුදලක් වැය කරන බව සඳහන්.
එමෙන්ම සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සියයට 93ක් තමන් සෑම මාසයකම අත්යවශ්ය නොවන දේ සඳහා කිසියම් මුදලක් වැය කරන බව පිළිගෙන තිබෙනවා.
නව ගණනය කිරීම්වලට අනුව, ඩොලර් 731,000ක සාමාන්ය නිවාස ණයක් ඇති පුද්ගලයෙකු මාසිකව අමතර ඩොලර් 165ක් ණය ගෙවීමට යොමු කළහොත්, සියයට 6.5ක පොලී අනුපාතයක් යටතේ ඩොලර් 66,910ක පොලී මුදලක් ඉතිරි කරගත හැකියි.
ඒ අනුව වසර 25ක නිවාස ණය කාලසීමාව වසරකුත් මාස 10කින් අඩු කරගැනීමට ද හැකියාව පවතිනවා.
පළමු වරට නිවසක් මිලදී ගන්නා පුද්ගලයෙකුට ද මාසිකව අමතර ඩොලර් 165ක් ගෙවීමෙන් පොලී මුදලින් ඩොලර් 65,617ක් ඉතිරි කරගනිමින් ණය කාලසීමාව වසර දෙකයි මාස දෙකකින් අඩු කරගත හැකි බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මාසිකව අමතර ඩොලර් 50ක් පමණක් නිවාස ණයට ගෙවීමෙන් වුවද ඩොලර් 22,000කට ආසන්න පොලී මුදලක් ඉතිරි කරගත හැකි බව මෙම ගණනය කිරීම් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් Savvy ආයතනයේ නිවාස ණය විශේෂඥ Daniel Carter පවසන්නේ මෙවැනි ඉතිරියක් ලබාගැනීමට සියලු විනෝදාත්මක වියදම් නතර කිරීම අවශ්ය නොවන අතර, කුඩා වියදම් පාලනය කිරීමෙන් ද දිගුකාලීන මූල්ය ප්රතිලාභ ලබාගත හැකි බවයි.
මෙම ඉතිරිකිරීම් නිශ්චිත ණය මුදලක්, පොලී අනුපාතයක් සහ ආපසු ගෙවීමේ කාලසීමාවක් මත සිදුකළ ගණනය කිරීම් වන අතර, සැබෑ ඉතිරිය පුද්ගලයාගේ ණය කොන්දේසි අනුව වෙනස් විය හැකියි.