ඔස්ට්රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව අත්යවශ්ය නොවන භාණ්ඩ මිලදී ගැනීම අඩු කර ඇති අතර, ප්රධාන වෙළෙඳ සමාගම් රැසක අලෙවිය පහළ ගොස් තිබෙනවා.
නත්තල් සමය සහ Black Friday විශේෂ වට්ටම් අලෙවිය ආසන්න වෙමින් තිබියදී මෙලෙස පාරිභෝගික වියදම් අඩුවීම වෙළෙඳ සමාගම්වල අවධානයට ලක්ව තිබෙනවා.
විශේෂයෙන් Bunnings, JB Hi-Fi, The Good Guys, Rebel Sport සහ BCF ඇතුළු ප්රධාන වෙළෙඳ සන්නාම කිහිපයක අලෙවි වර්ධනය මන්දගාමී වී ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.
සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස 3 තුළ JB Hi-Fi සමාගමේ ඔස්ට්රේලියානු වෙළෙඳසැල්වල සැසඳිය හැකි අලෙවිය සියයට 1.4කින් පහළ ගොස් ඇති අතර, The Good Guys සමාගමේ එම අලෙවිය සියයට 0.4කින් අඩු වී තිබෙනවා.
එමෙන්ම Bunnings සමාගමේ අලෙවි වර්ධනය මන්දගාමී වී ඇති අතර, Kmart සහ Officeworks සමාගම් සාපේක්ෂව ස්ථාවර අලෙවියක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
මේ අතර Super Retail Group සමාගමට අයත් BCF වෙළෙඳසැල්වල සැසඳිය හැකි අලෙවිය සියයට 1.1කින් සහ Macpac අලෙවිය සියයට 11.7කින් පහත වැටී තිබෙනවා.
කෙසේ වෙතත් Supercheap Auto සමාගම සියයට 2.5ක අලෙවි වර්ධනයක් වාර්තා කර ඇති අතර, Rebel Sport සමාගම සියයට 0.3ක සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම, නිවාස ණය ගෙවීම් සහ අනෙකුත් ජීවන වියදම් හේතුවෙන් ජනතාව තම වියදම් සීමා කිරීමට පෙළඹී ඇති බවයි වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම බොහෝ පාරිභෝගිකයන් සාමාන්ය මිලට භාණ්ඩ මිලදී ගැනීම වෙනුවට Black Friday වැනි විශේෂ වට්ටම් කාලසීමා පැමිණෙන තෙක් බලා සිටින බව ද වාර්තා වනවා.