ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්රේලියා ප්රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව පියවර රැසක් ප්රකාශයට පත් කර තිබෙනවා.
වික්ටෝරියා ප්රාන්තයේ ස්වාධීන ෆෙඩරල් මන්ත්රී Helen Haines ප්රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබීමෙන් අනතුරුව, රට පුරා දේශපාලනඥයන්ගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ දැඩි කනස්සල්ලක් මතුව තිබෙනවා.
මෙම ප්රහාරයෙන් මන්ත්රීවරියගේ පාද දෙකම ඉවත් කිරීමට සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී ඇති නමුත් ප්රහාරයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.
මේ අතර, බටහිර ඔස්ට්රේලියාවේ ලේබර් පක්ෂ මන්ත්රී Hannah Beazleyගේ කාර්යාලයේ සේවකයන්ට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පුද්ගලයෙකුට චෝදනා ගොනු කර ඇති අතර, තවත් මන්ත්රීවරුන් කිහිපදෙනෙකු තමන් මුහුණ දෙන තර්ජන සහ හිරිහැර පිළිබඳව ප්රසිද්ධියේ අදහස් පළ කර තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ බටහිර ඔස්ට්රේලියා ප්රාන්ත රජය මන්ත්රීවරුන්ගේ පෞද්ගලික නිවාසවල ආරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට මුදල් වෙන් කිරීමටත්, පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳ සමාලෝචනය කඩිනම් කිරීමටත් තීරණය කර තිබෙනවා.
සමාජ මාධ්ය ඔස්සේ දේශපාලනඥයන්ට එල්ල කරන අපහාසාත්මක ප්රකාශ සහ වෛරී අදහස්, ඇතැම් පුද්ගලයන් ප්රචණ්ඩ ක්රියා සඳහා පෙළඹවිය හැකි බවට ද ප්රාන්තයේ දේශපාලන නායකයන් අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත්, ජනතාව සහ දේශපාලනඥයන් අතර සෘජු සම්බන්ධතා පවත්වා ගැනීම ප්රජාතන්ත්රවාදයට අත්යවශ්ය බැවින්, ආරක්ෂාව තර කරන අතරම මන්ත්රීවරුන්ට ජනතාව හමුවීමේ අවස්ථා සීමා නොකළ යුතු බවයි බටහිර ඔස්ට්රේලියා පොලිස් කොමසාරිස් Col Blanch අවධාරණය කර ඇත්තේ.