නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ දුම්රිය සේවා කාලසටහන් වෙනස් කිරීමට ගෙන තිබූ තීරණය මගීන්ගේ දැඩි විරෝධය හමුවේ අවලංගු කිරීමට ප්රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, සිඩ්නි සහ Illawarra ප්රදේශවල T4, T8 සහ South Coast දුම්රිය මාර්ග සඳහා නොවැම්බර් 15 වැනිදා සිට ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව කාලසටහන් වෙනස්කම් ක්රියාත්මක නොවන බවයි ප්රාන්ත අගමැති Chris Minns නිවේදනය කළේ.
නව සැලැස්ම යටතේ සතියකට අමතර දුම්රිය සේවා 200ක් එක් කිරීමටත්, කාර්යබහුල වේලාවන්හි T4 මාර්ගයේ දුම්රිය අතර පරතරය විනාඩි 10 සිට විනාඩි 7.5 දක්වා අඩු කිරීමටත් යෝජනා වී තිබුණා.
කෙසේ වෙතත්, එම වෙනස්කම් හේතුවෙන් ඇතැම් ගමන් සඳහා වැඩි කාලයක් ගතවීම සහ දුම්රිය කිහිපයකට මාරුවීමට සිදුවීම පිළිබඳව මගීන් දැඩි අප්රසාදය පළ කර තිබෙනවා.
විශේෂයෙන් Wollongong සිට Sydney Airport වෙත ගමන් කරන මගීන්ට සෘජු දුම්රිය සම්බන්ධතා අහිමිවීමත්, T8 මාර්ගයේ Sydenham දුම්රිය ස්ථානයේ නැවැත්වීම ඉවත් කිරීමට යෝජනා වීමත් විරෝධයට ප්රධාන හේතු වී තිබුණා.
මගීන්ගේ අදහස්වලට සවන් දීමෙන් පසු මෙම තීරණය වෙනස් කළ බවත්, ජනතාව අකමැති ප්රතිපත්තියක් ක්රියාත්මක කරනවාට වඩා වරද පිළිගෙන එය නිවැරදි කිරීම සුදුසු බවත් ප්රාන්ත අගමැති Chris Minns ප්රකාශ කර තිබෙනවා.
මේ අතර, T4 මාර්ගයේ දුම්රිය සේවාවල විශ්වාසනීයත්වය යළි තහවුරු වනතුරු නව කාලසටහන් වෙනස්කම් ක්රියාත්මක නොකරන බවත්, සංඥා පද්ධති දෝෂ සහ දුම්රිය මාර්ගවල බිඳවැටීම් ඇතුළු ගැටලු විසඳීමට ප්රමුඛත්වය ලබාදෙන බවත් ප්රාන්ත රජය සඳහන් කර තිබෙනවා.