සුව කළ නොහැකි දරුණු රෝගාබාධයකින් පීඩා විඳිමින් සිටි තම ස්වාමිපුරුෂයාගේ අවසන් ඉල්ලීම ඉටුකිරීමට ගොස් මිනීමැරුම් චෝදනාවට ලක්වූ බිරිඳක් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා බ්‍රිස්බේන් මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
56 හැවිරිදි හිටපු ගිනි නිවන භටයෙකු වූ David Ronald Mobbs 2023 වසරේදී මාරාන්තික ස්නායු රෝගයකට (Motor Neurone Disease) ගොදුරු වී තිබෙනවා.
ඉතා කෙටි කලකින් ඔහුට කතා කිරීමට හා ඇවිදීමට පවා නොහැකි වූ අතර, තමා අන් අයගේ සහාය නොමැතිව වැසිකිළි යාමට පවා නොහැකි තත්ත්වයට පත්වුවහොත් තවදුරටත් ජීවත් වීමට අකමැති බව ඔහු සිය බිරිඳට සහ පවුලේ අයට පවසා තිබුණා.
ඔහුගේ බිරිඳ වන Kylie පවසන්නේ, සිය සැමියා දැඩි ලෙස දුක් විඳිමින් තමන්ට මියයාමට උදව් කරන ලෙස කළ ඉල්ලීම මත ඇය ඔහුට ඖෂධ ලබාදුන් බවයි.
ඇය සිය සැමියා වෙනුවෙන් උපරිම කැපවීමෙන් කටයුතු කළ තැනැත්තියක බව පවුලේ ඥාතීන් අධිකරණය හමුවේ තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙය මිනීමැරුමක් ලෙස සලකා ඇය මාස 16ක් තිස්සේ බන්ධනාගාරගතව පසුවනවා.
ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය පවසන්නේ මෙය වෛරයකින් කළ අපරාධයක් නොව සැමියාගේ මාරාන්තික වේදනාව නැවැත්වීමට කළ මානුෂීය මැදිහත්වීමක් බවයි.
මෙම ඇප අයදුම්පත පිළිබඳ අවසන් තීරණය ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත් කිරීමට අධිකරණය නියම කළා.









