Melbourne Cup අඛණ්ඩව 3 වරක් ජයග්‍රහණය කළ එකම අශ්වයා වන ‘ මැකිබේ ඩීවා’ (Makybe Diva) දිවියෙන් සමුගෙන තිබෙනවා.
වයස අවුරුදු 27 ක් වූ මෙම අශ්වයා හදිසියේ ඇතිවූ උදරයේ ආබාධයක් (Colic) හේතුවෙන් මෙලෙස මියගියා.
2003, 2004 සහ 2005 වසරවලදී අශ්ව ධාවන ශූර ග්ලෙන් බොස් (Glen Boss) සමඟ එක්ව මැකිබේ ඩීවා තැබූ වාර්තාව අදටත් කිසිවෙකුට බිඳ හෙලීමට හැකිවී නැහැ.
ඇයගේ අභාවය පිළිබඳව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් හිමිකරු වන ටෝනි සැන්ටික් පවසා සිටියේ, මැකිබේ ඩීවා තමන්ට පවුලේ සාමාජිකයෙකු බඳු වූ බවයි.
ඇය ඕස්ට්‍රේලියාවට කිසිදා අමතක නොවන ජයග්‍රාහී මතකයන් රැසක් දායාද කළ බව ද ඔහු වැඩිදුරටත් සිහිපත් කළා.
2006 වසරේදී ඔස්ට්‍රේලියානු අශ්ව රේස් කීර්තිමත් පුද්ගලයින්ගේ නාමාවලියට (Hall of Fame) ඇතුළත් වූ මැකිබේ ඩීවා, කොක්ස් ප්ලේට් (Cox Plate) සහ ඔස්ට්‍රේලියන් කප් (Australian Cup) ඇතුළු ප්‍රධාන පෙළේ ජයග්‍රහණ රැසක් දිනාගෙන තිබෙනවා.
මෙල්බන්හි වික්ටෝරියා රේසිං ක්ලබ් (VRC) සභාපති නීල් විල්සන් පවසා සිටියේ, මැකිබේ ඩීවා යනු හුදෙක් ක්‍රීඩාව අභිබවා ගිය, මුළු මහත් ජාතියක්ම ආදරය කළ සැබෑ ශූරියක් බවයි.









