ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් රැකියා දහස් ගණනක් කප්පාදු කිරීමට පියවර ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
පසුගිය සතියේ Canva සමාගම සිය සමස්ත සේවක සංඛ්‍යාවෙන් 22%ක් පමණ වූ, රැකියා 1,200කට වැඩි ප්‍රමාණයක් කප්පාදු කිරීමට හෝ වෙනත් ස්ථාන වෙත මාරු කිරීමට සැලසුම් කිරීමක් පිළිබද ප්‍රකාශයට පත් කර ඇති අතර, Woodside Energy සමාගම ද වියදම් අවම කිරීමේ පියවරක් ලෙස ලොව පුරා අවම වශයෙන් රැකියා 500ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර, National Australia Bank හෙවත් NAB බැංකුව ද ආර්ථික අභියෝග, තාක්ෂණික වෙනස්කම් සහ තරගකාරීත්වය හේතුවෙන් මෙම මූල්‍ය වර්ෂය අවසන් වනවිට රැකියා 2,500ක් කප්පාදු කිරීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම, ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ වෙළෙඳ සමාගමක් වන David Jones සමාගම ද මූල්‍ය අර්බුද හමුවේ ස්වේච්ඡා පරිපාලන ක්‍රියාවලියකට (Voluntary Administration) ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනුව, සැප්තැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 4.7% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2021 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි.
ඒ අනුව, සැප්තැම්බර් මාසය වන විට, පුද්ගලයන් 40,000කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති අතර, රට පුරා රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව 732,000ක් ලෙස වාර්තා වී තිබෙනවා.
මේ අතර, නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව පොලී අනුපාතය 4.6% සිට 4.85% දක්වා ඉහළ නැංවීමත් සමඟ ඉදිරි මාසවලදී විරැකියාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවන්නේ.
ඒ අනුව, බැංකු, බලශක්ති සහ ඩිජිටල් සේවා වැනි ක්ෂේත්‍රවල රැකියා කප්පාදු සිදුවෙමින් පවතින පසුබිමක, ඉදිරියේදී තවත් සේවකයන් පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බවටයි අනාවරණය වන්නේ.
Australian National University ආර්ථික විශේෂඥ Robert Breunig පවසන්නේ විරැකියාව ඉහළ යාමෙන් රජයේ ආදායම් බදු ලැබීම් අඩුවීම සහ ආදායම් ආධාර සඳහා වැයවන මුදල් වැඩිවීම වැනි ආර්ථික බලපෑම් ද ඇතිවිය හැකි බවයි.
කෙසේවෙතත්, වර්තමාන තත්ත්වය ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ඇතුළත් වී ඇති බව තහවුරු නොකරන අතර, ඉදිරි රැකියා දත්ත සහ පොලී අනුපාත තීරණ රටේ ආර්ථික දිශානතිය තීරණය කිරීමේදී වැදගත් වන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.