ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් අයකරන අධික ගාස්තු පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන Grattan Institute පෙන්වා දෙන්නේ, විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු උද්ධමනයට වඩා වේගයෙන් ඉහළ යමින් පවතින බවයි.
එම වාර්තාවට අනුව, ප්‍රතිකාර සඳහා වැයවන අධික මුදල දරාගත නොහැකි වීම හේතුවෙන් සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් 800,000කට අධික පිරිසක් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කරන හෝ සම්පූර්ණයෙන්ම අත්හරින බවයි සඳහන් වන්නේ.
විශේෂයෙන්ම, ඉහළම ගාස්තු අයකරන මනෝ වෛද්‍යවරුන් පිරිසක් හමුවීමට පැමිණෙන රෝගීන්ට, පළමු සායනික හමුවීම සඳහා තමන්ගේම මුදලින් ඩොලර් 669ක පමණ ගාස්තුවක් ගෙවීමට සිදුවන බවයි එම වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ.
තවද, ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් Medicare යටතේ නියමිත ගාස්තුව මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලක් රෝගීන්ගෙන් අයකරන බව ද අනාවරණය වී තිබෙනවා.
මෙලෙස අධික ගාස්තු අයකරන විශේෂඥ වෛද්‍යවරුන්ට ලබාදෙන Medicare සහනාධාර වසර අවසානයේදී නැවත රජයට ගෙවීමට නියම කළ යුතු බවටයි Grattan Institute ආයතනය යෝජනා කර තිබෙන්නේ.
එවැනි පසුබිමක, ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ රෝගීන්ට දැරිය හැකි මිලකට ප්‍රතිකාර ලබාදීමට නම් Medicare සහනාධාර, රජයේ බාහිර රෝගී සායනවල පහසුකම් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය ඇතුළු ගැටලු රැසකට විසඳුම් ලබාදිය යුතු බවයි.
මේ අතර, විශේෂඥ වෛද්‍ය ගාස්තු පාලනය කිරීම සඳහා පවතින සියලු විකල්ප සලකා බලන බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, 2027 වසරේ සිට Medical Costs Finder වෙබ් අඩවිය ඔස්සේ විශේෂඥ වෛද්‍ය ගාස්තු පිළිබඳ වඩාත් පැහැදිලි තොරතුරු ජනතාවට ලබාදීමට ද රජය සැලසුම් කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.