වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසරේ VCE Mathematical Methods විභාගයේ ප්‍රශ්න පත්‍රය අසාධාරණ ලෙස අපහසු වූ බවට සිසුන් සහ දෙමාපියන් චෝදනා කර තිබෙනවා.
සිසුන් 17,000කට ආසන්න පිරිසක් පෙනී සිටි මෙම විභාගය සම්බන්ධයෙන් Victorian Curriculum and Assessment Authority (VCAA) වෙත නිල පැමිණිලි ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ඇතැම් බහුවරණ (MCQ) ප්‍රශ්න සඳහා එක් ලකුණක් පමණක් ලබා දී තිබුණ ද, ඒවා විසඳීමට දීර්ඝ ගණනය කිරීම් සිදුකිරීමට සිදුවූ බව දෙමාපියන් පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් අනෙකුත් ප්‍රශ්න සඳහා අවශ්‍ය කාලය ප්‍රමාණවත් නොවූ බවත්, විභාගයෙන් පසු ඇතැම් සිසුන් දැඩි මානසික පීඩනයට පත්ව කඳුළු සලමින් පිටව ගිය බවත් වාර්තා වනවා.
මේ අතර විභාගයේදී Mathematica මෘදුකාංගයේ විශේෂ ක්‍රියාකාරකම් හරහා AI තාක්ෂණය භාවිත කර පිළිතුරු ලබාගත් බවට සිසුවෙකු සම්බන්ධයෙන් තවත් සිසුවෙකු චෝදනාවක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් එම චෝදනාව මෙතෙක් තහවුරු වී නැහැ.
මේ අතර, VCAA ආයතනය සඳහන් කරන්නේ, විභාගය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සහ පැමිණිලි පිළිබඳව තමන් දැනුවත් බවත්, ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත්තේ නියමිත විෂය නිර්දේශයට අනුව සිසුන්ගේ විවිධ දක්ෂතා මට්ටම් ඇගයීම සඳහා බවත්ය.
එමෙන්ම 2027 වසරේ සිට පැවැත්වෙන විභාගවලදී Mathematica මෘදුකාංගයේ User-Defined Functions (UDFs) භාවිතය සීමා කිරීමට VCAA ආයතනය තීරණය කර තිබෙනවා.
මේ අතර, VCE Biology විභාගයේ ඇතැම් ප්‍රශ්නවල දෝෂ පැවති බවටත්, විෂය නිර්දේශයට ඇතුළත් නොවූ කරුණු ප්‍රශ්න පත්‍රයට එක්කර තිබූ බවටත් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ද VCAA ආයතනය පරීක්ෂණයක් පවත්වමින් සිටින බවයි පැවසෙන්නේ.