ඔස්ට්‍රේලියාවේ Victoria පොලිසියේ සේවය කළ නිලධාරිනියකගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින්, පොලිසිය තුළ පැවති බව කියන ලිංගික හිරිහැර, සේවා ස්ථානයේ පීඩනය සහ දූෂණ චෝදනා රැසක් අනාවරණය වී තිබෙනවා.
2019 නොවැම්බර් 22 වැනිදා සියදිවි නසාගත් 43 හැවිරිදි Shona O’Connor, දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර, ඇය Victoria පොලිසියේ Melton පොලිස් ස්ථානයේ සේවය කළ කාලය තුළ විවිධ හිරිහැරවලට මුහුණ දුන් බව ඇගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබෙනවා.
විශේෂයෙන්ම, එම පොලිස් ස්ථානයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Simon Payne විසින් ඇය සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී, ලිංගික ස්වභාවයේ අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට ඇය සිය පියාට සහ පෙම්වතාට පවසා තිබූ බවයි විමර්ශනයෙන් හෙළිව තිබෙන්නේ.
එම සිදුවීම් පිළිබඳ ඉහළ නිලධාරිනියක වන Kathryn Rudkins වෙත පැමිණිලි කළ ද, නිසි පියවරක් නොගත් බව Shona සිය පියාට පවසා තිබූ අතර, Rudkins එම පැමිණිල්ල ලැබුණු බව ඇතුළු චෝදනා කිහිපයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ අතර, Melton පොලිස් ස්ථානයේ කාන්තා නිලධාරිනියන්ට අහිතකර සේවා පරිසරයක් පැවති බව හිටපු පොලිස් නිලධාරිනියක වන Kylie Hinson ප්‍රකාශ කර ඇති අතර, 2019 වසරට පෙර සිදුකළ අභ්‍යන්තර සමීක්ෂණයකින් ද එහි නුසුදුසු සහ අපහාසාත්මක හැසිරීම් පිළිබඳ ගැටලු හඳුනාගෙන තිබූ බව Victoria පොලිසිය පිළිගෙන තිබෙනවා.
Shonaගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කළ Jacob Laidlaw පවසන්නේ, ඇය මුහුණ දුන් බවට චෝදනා එල්ල වූ හිරිහැර පිළිබඳ වැදගත් තොරතුරු මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් නොවූ බවයි.
කෙසේවෙතත්, මරණ පරීක්ෂකවරයාගේ නිගමනය වී තිබුණේ, Shona සේවා ස්ථානයේ හිරිහැරවලට ලක් වූ බවට කියන සාක්ෂි නොමැති බවයි. නමුත්, ඇගේ පවුලේ සාමාජිකයන් එම මරණය පිළිබඳ විමර්ශනය නැවත ආරම්භ කිරීමට පියවර ගැනීමට සූදානම් වන බවයි පැවසෙන්නේ.
එමෙන්ම, Melton පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු හා දේපළ කළමනාකරණය සම්බන්ධයෙන් ද අක්‍රමිකතා චෝදනා මතුව ඇති අතර, Simon Payneට එරෙහිව ඉදිරිපත් ව තිබූ රාජ්‍ය නිලධාරියෙකුගේ විෂමාචාරය පිළිබඳ චෝදනාව පසුව ඉවත් කර ඇති බවත්, සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ඔහුට අධිකරණයේ විකල්ප ක්‍රියාමාර්ගයක් යටතේ කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.
Victoria පොලිස් ප්‍රධානී Mike Bush, Melton පොලිස් ස්ථානයේ පැවති සේවා සංස්කෘතිය පිළිගත නොහැකි තත්ත්වයක තිබූ බවටත්, මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ යුතුව තිබූ ඇතැම් තොරතුරු ඉදිරිපත් නොවූ බවටත් පිළිගෙන ඇති බවයි සදහන්.