ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 3 දක්වා පුද්ගලයන් 1,500ක් යොදාගෙන සිදුකළ News24 Pulse/YouGov නවතම ජනමත සමීක්ෂණයට අනුව, වඩාත් කැමති අගමැතිවරයා ලෙස Angus Taylorට සියයට 41ක සහායක් හිමිව ඇති අතර, ඇන්තනී ඇල්බනීසිට හිමිව ඇත්තේ සියයට 39ක සහායක් පමණයි.
මේ අතර, ඉදිරි ෆෙඩරල් මැතිවරණයකදී පළමු මනාපය ලබාදීමට අදහස් කරන දේශපාලන පක්ෂය පිළිබඳ විමසීමේදී Pauline Hansonගේ One Nation පක්ෂයට සියයට 27ක සහායක් හිමිව තිබෙනවා.
පාලක Labor පක්ෂයට සියයට 25ක් සහ විපක්ෂයේ Coalition එකමුතුවට සියයට 23ක් හිමිව ඇති අතර, Greens පක්ෂයට සියයට 13ක සහායක් වාර්තා වනවා.
ස්වාධීන අපේක්ෂකයන් සහ අනෙකුත් සුළු පක්ෂ සඳහා සියයට 10ක සහායක් හිමිව ඇති බව ද සමීක්ෂණය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, ද්විපාර්ශ්වික මනාප ගණනය කිරීමේදී Labor සහ Coalition දෙපාර්ශ්වයම සියයට 50 බැගින් ලබාගෙන සම මට්ටමක පසුවනවා.
අගමැති ඇල්බනීසි සහ One Nation නායිකා Pauline Hanson අතර වඩාත් කැමති අගමැතිවරයා පිළිබඳ විමසීමේදී ඇල්බනීසි සියයට 51ක් සහ Hanson සියයට 39ක් ලබාගෙන තිබෙනවා.
අගමැතිවරයාගේ කාර්යසාධනය පිළිබඳ ජනතා තෘප්තිය සියයට 33ක් වන අතර, සියයට 62ක් ඔහුගේ කාර්යසාධනය පිළිබඳ අතෘප්තිය පළකර තිබෙනවා.
විපක්ෂ නායක Angus Taylorගේ කාර්යසාධනය පිළිබඳ සියයට 36ක් තෘප්තිය පළකර ඇති අතර, සියයට 48ක් අතෘප්තිය පළකර තිබෙනවා.