ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබෙනවා.
පසුගිය සතියේ Madrid නුවර සිට Seville නගරය බලා එකම දිශාවට ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රිය දෙකක්, Madrid නුවරට කිලෝමීටර් 140ක් පමණ දකුණින් පිහිටි Urda ප්‍රදේශය ආසන්නයේදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
නවතා තිබූ දුම්රියක පසුපස තවත් අධිවේගී දුම්රියක් ගැටීමෙන් දුම්රිය මැදිරි දෙකක් පීලි පැන ඇති බවයි වාර්තා වුණේ.
Castilla-La Mancha අධිකරණ බලධාරීන්ට අනුව, මියගිය පුද්ගලයන් 69 දෙනාගේම අනන්‍යතාව තහවුරු කර ඇති අතර, ඔවුන් අතර ස්පාඤ්ඤ ජාතිකයන් 54 දෙනෙකු සහ විදේශිකයන් 15 දෙනෙකු සිටිනවා.
මියගිය විදේශිකයන් අතර ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු සිටින බව ද නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
මියගිය පුද්ගලයන් අතර පිරිමින් 40 දෙනෙකු සහ කාන්තාවන් 29 දෙනෙකු සිටින අතර, මළසිරුරු 55ක් මේ වනවිට ඔවුන්ගේ පවුල් වෙත භාරදී තිබෙනවා.
දුම්රිය සංඥා පද්ධතියේ පරිගණක දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බවට මූලික සැකයක් පවතින අතර, අනතුර සම්බන්ධයෙන් ස්පාඤ්ඤ ප්‍රවාහන අමාත්‍ය Oscar Puenteට ඉල්ලා අස්වන ලෙස ද බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා.
මේ අතර, අනතුරින් මියගිය පුද්ගලයන්ගේ පවුල් සඳහා ලබාදෙන වන්දි දෙගුණ කිරීමටත්, දුම්රිය ආරක්ෂක පද්ධති වැඩිදියුණු කිරීමටත් ස්පාඤ්ඤ රජය පියවර ගනිමින් සිටිනවා.
මෙය 2013 වසරෙන් පසු යුරෝපයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස ද වාර්තා වනවා.