බටහිර ඔස්ට්‍රේලියාවේ Fremantle නගරයේ ඉදිකරන ලද නව Walyalup පාලම, සැලසුම් කළ කාලයට මාස හතරකට පෙර ඊයේ (01) ජනතා අයිතියට පත්කර තිබෙනවා.
Swan ගංගාව හරහා ඉදිකර ඇති මීටර් 500ක් දිග මෙම පාලම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 596ක් වැය වී ඇති අතර, එය මුල් ඇස්තමේන්තුව මෙන් දෙගුණයකටත් වැඩි මුදලක් බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාවේ ඉදිකරන ලද පළමු Extra-dosed වර්ගයේ පාලම මෙය වන අතර, කේබල් සහ විශේෂ ආධාරක ව්‍යුහයන් ඒකාබද්ධ කරමින් එය ඉදිකර තිබෙනවා.
පාලම විවෘත කිරීම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයට දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වී ඇති අතර, රථවාහන ගමනාගමනය සඳහා පාලම ඊයේ පස්වරුවේ විවෘත කෙරුණා.
1939 වසරේදී විවෘත කළ පැරණි Fremantle පාලම පෙබරවාරි පළමු වැනිදා වසා දමා ඇති අතර, නව Walyalup පාලම ඉදිකිරීමේදී පැරණි පාලමේ දැව කොටස් සහ ඓතිහාසික ලාම්පු ඇතුළු අංග කිහිපයක් සංරක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.
නව පාලමේ රථවාහන මංතීරු සංඛ්‍යාව පෙර පරිදිම පවතින නමුත්, පදිකයන් සඳහා පුළුල් මංතීරු සහ බෝට්ටු ගමනාගමනය සඳහා වැඩි උස ප්‍රමාණයක් ලබාදී ඇති බවත් සඳහන්.
ව්‍යාපෘතියේ වියදම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් පාලමේ සැලසුම් වෙනස් කිරීම හේතු වූ බවයි බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රවාහන අමාත්‍ය Rita Saffioti පවසන්නේ.
කෙසේ වෙතත්, පාලමේ සැලසුම පදිකයන්ට සහ පාපැදිකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදෙන බවට Cyclists’ Action Group සංවිධානය චෝදනා කර තිබෙනවා.