ඔස්ට්‍රේලියාවේ පැය 24 පුරා දුරස්ථ වෛද්‍ය සේවා ලබාදෙන Updoc ආයතනය, තම පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු සම්බන්ධ දත්ත ආරක්ෂණ සිදුවීමක් පිළිබඳ දැනුම්දී තිබෙනවා.
ජූලි 31 වනදා තෙවන පාර්ශ්වයකට අයත් පද්ධතියකට කෙටි කාලයක් අනවසරයෙන් ඇතුළුවී ඇති අතර, රෝගීන්ගේ නම්, Email ලිපින සහ තැපැල් ලිපින වෙත ප්‍රවේශ වී ඇති බව සඳහන්.
කෙසේවෙතත්, Updoc ආයතනයේම පද්ධතිවලට අනවසරයෙන් ඇතුළුවී නොමැති බව එම සමාගම පවසනවා.
රෝගීන්ගේ සෞඛ්‍ය තොරතුරු, බැංකු හෝ මූල්‍ය තොරතුරු සහ ගෙවීම් කාඩ්පත් විස්තර මෙම සිදුවීමට ඇතුළත් නොවන බවද තහවුරු කර තිබෙනවා.
අනවසර ප්‍රවේශය වහාම අවහිර කළ බවත්, මුල් සිදුවීමෙන් පසුව තවත් ප්‍රවේශයක් සිදුවූ බවට සාක්ෂි නොමැති බවත් Updoc පවසනවා.
ගිණුම්වල මුරපද සහ පිවිසුම් ආරක්ෂාවට බලපෑමක් නොමැති බැවින් රෝගීන්ට වහාම විශේෂ ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නොවන බව දැනුම්දී තිබෙනවා.
එහෙත් Updoc නමින් ලැබෙන සැක සහිත Email හෝ ලිපි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත්, Updoc කිසිවිටෙක Email මගින් මුරපද ඉල්ලා නොසිටින බවත් පාරිභෝගිකයන්ට සිහිපත් කර තිබෙනවා.









