ඔස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් උදෙසා ක්‍රියාත්මක වන ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමයට (NDIS) එරෙහිව සිදු කෙරුණු ඩොලර් මිලියන 5ක මහා පරිමාණ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් ඇඩිලේඩ් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි ලියාපදිංචි NDIS සේවා සපයන ආයතනයක අධ්‍යක්ෂවරයෙක්.
ඔහු විදෙස්ගත වීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
NDIS ආයතනයේ ලියාපදිංචි ප්‍රතිලාභීන්ගේ රහස්‍ය තොරතුරු බලපත්‍ර රහිතව පරිශීලනය කර ඇති බවට අනාවරණය වීමත් සමඟ මෙම මහා පරිමාණ වංචාව පිළිබඳ විමර්ශන ආරම්භ වූයේ පසුගිය මාර්තු මාසයේදීයි.
පසුගිය ජූනි මාසයේදී මෙම වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන 48 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.
ඇය NDIS ආයතනයේ සේවිකාවක් ලෙස කටයුතු කරමින් ප්‍රතිලාභීන්ගේ රහස්‍ය තොරතුරු ලබා දී ඇති අතර, ඒ සඳහා ඇයට ඩොලර් 53,000ක මුදලක් අල්ලස් ලෙස ලැබී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
අත්අඩංගුවට ගත් 38 හැවිරිදි පුද්ගලයාට එරෙහිව නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් ළඟ තබා ගැනීම සහ රාජ්‍ය ආයතනයක රහස්‍ය තොරතුරු ලබා ගැනීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල කර තිබෙනවා.
ඔහුට එරෙහි පළමු චෝදනාවට වසර 25ක සහ දෙවන චෝදනාවට වසර 2ක සිරදඬුවම් නියම විය හැකි අතර සැකකරු ඇඩිලේඩ් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.









