මෙල්බන් නිවාස වෙන්දේසි වෙළඳපොළ මේ සති අන්තයේදී තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටිනවා.
ඒ, තමන් විසින්ම කළමනාකරණය කරන විශ්‍රාම අරමුදල් හරහා නේවාසික දේපළ මිලදී ගැනීම සඳහා නව ණය ලබාගැනීම අගෝස්තු 10 වැනිදා සිට තහනම් කිරීමත් සමඟයි.
මෙම වෙනස හේතුවෙන් මෙතෙක් නිවාස මිලදී ගැනීම් සඳහා සක්‍රීයව සහභාගී වූ ආයෝජකයන් පිරිසක් වෙළඳපොළෙන් ඉවත් වී ඇති අතර, ඒ හේතුවෙන් ගැනුම්කරුවන් අතර පවතින තරගයද අඩුවිය හැකි බවට අනතුරු ඇඟවී තිබෙනවා.
විශේෂයෙන් මෙල්බන් බටහිර ප්‍රදේශවල පසුගිය සති කිහිපය තුළ සිදු වූ ඇතැම් නිවාස අලෙවීම්වලින් සියයට 65ක් පමණ ආයෝජකයන් වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම ආයෝජකයන් පිරිස වෙන්දේසි වෙළඳපොළෙන් ඉවත්වීමත් සමඟ, ඇතැම් ප්‍රදේශවල නිවාස හිමියන්ට පසුගිය සතිවල අලෙවි වූ නිවාසවලට වඩා අඩු මිලක් පිළිගැනීමට සිදුවිය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
පසුගිය සතියේ මෙල්බන් නිවාස වෙන්දේසිවලින් සියයට 57ක් සාර්ථකව අලෙවි වී තිබූ අතර, එය මාර්තු මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමයි.
කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ මෙල්බන් නිවාස වටිනාකම් තවදුරටත් පහළ යා හැකි අතර, වසර අවසානයට ආසන්නව වෙළඳපොළේ යම් ස්ථාවර වීමක් ඇතිවිය හැකි බවට අනාවැකි පළවී තිබෙනවා.









