ඔස්ට්‍රේලියාවේ ජාතික ශුද්ධ ණය පසුගිය දශකය තුළ දෙගුණ වී ඇති අතර, එය ජනගහනයට බෙදා බැලූ විට එක් පුද්ගලයෙකුට ආසන්නව ඩොලර් 30,000ක් ලෙස සටහන් වන බව පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පෙන්වා දෙනවා.
2025–26 මූල්‍ය වසරේ රටේ සමස්ත ජාතික ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 1.002ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 34.8%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව සඳහන්.
මෙම ණය ප්‍රමාණය 2028–29 වන විට ඩොලර් ට්‍රිලියන 1.257ක් දක්වා ඉහළ යනු ඇති බවද PBO අනාවැකි පළ කරනවා.
ඒ අනුව දශකය අවසානය වන විට එක් පුද්ගලයෙකුට සමාන කර ගණනය කරන ජාතික ණය බර තවත් 50%කින් පමණ ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
රජයට මෙම ණය සඳහා ගෙවිය යුතු පොලී වියදම් ඉහළ යාමද ඉදිරි වසරවල අයවැයට වැඩි පීඩනයක් ඇති කළ හැකි බව සඳහන්.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පවසන්නේ ඔස්ට්‍රේලියානුවන්ගේ දිගුකාලීන මූල්‍ය තත්ත්වය තවමත් තිරසාර මට්ටමක පවතින බවයි.









