ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.
University of Queensland සහ Australian Red Cross Lifeblood එක්ව සිදුකරන මෙම පර්යේෂණයේදී, රසායනාගාරයක් තුළ රතු රුධිර සෛල නිෂ්පාදනය වැඩි ප්‍රමාණයකින් සහ අඩු වියදමකින් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කරනවා.
දැනට ඔස්ට්‍රේලියාවේ Jk-null ලේ වර්ගය සහිත රුධිර දායකයන් 14 දෙනෙකු පමණක් හඳුනාගෙන ඇති බව Lifeblood සඳහන් කරනවා.
ඒ අතර සිටින 32 හැවිරිදි Joe Fa’agase සහ ඔහුගේ සහෝදරයන් තිදෙනාටත් මෙම දුර්ලභ ලේ වර්ගය තිබෙන අතර, හදිසි අවස්ථාවක වෙනත් ලේ වර්ගයක් ලබාදීමෙන් බරපතළ ප්‍රතික්‍රියාවක් ඇතිවිය හැකි බව සඳහන්.
දැනට රසායනාගාරයේදී donor stem cells භාවිතයෙන් ක්‍රියාකාරී රතු රුධිර සෛල නිපදවිය හැකි නමුත්, රුධිර තේ හැන්දක පමණ ප්‍රමාණයක් නිපදවීමට සති තුනක් පමණ ගතවන අතර එක් රුධිර ඒකකයක් සඳහා වියදම ඩොලර් මිලියනයක් පමණ වන බව පර්යේෂකයන් පවසනවා.
ඩොලර් මිලියන 2.5ක වටිනාකමකින් යුත් මෙම වසර හතරක පර්යේෂණයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කර වියදම අඩු කිරීමට හැකි වේදැයි සොයාබලන අතර, සාර්ථක වුවහොත් ඉදිරි වසර කිහිපය තුළ clinical trials සඳහා වැඩි ප්‍රමාණයකින් නිපදවිය හැකි රුධිර සෛල ලබාගැනීමට හැකිවනු ඇතැයි පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.
වැදගත්: මේක තවම පර්යේෂණ මට්ටමේ තාක්ෂණයක්. සාමාන්‍ය රෝගීන් සඳහා භාවිත කිරීමට පෙර මිනිසුන් යොදා clinical trials සහ Therapeutic Goods Administration අනුමැතිය අවශ්‍ය වෙනවා.