මෙල්බන් වෙත මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද ට්‍රැක්ටරයක් තුළ සඟවා තිබූ 298kgක මහා පරිමාණ කොකේන් තොගයක් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් සමත්වුණා.
ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය (ABF) විසින් ජර්මනියේ සිට පැනමාව හරහා පැමිණි නැව් කන්ටේනරයක් X-Ray පරීක්ෂාවකට ලක් කිරීමේදී මෙම ජාවාරම අනාවරණය වී තිබෙනවා.
ට්‍රැක්ටරයේ කොටස් අතර නිල් සහ කළු පැහැති පටිවලින් ඔතා සඟවා තිබූ කොකේන් අඩංගු විශාල පෙට්ටි 6ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සහ ෆෙඩරල් පොලිසිය (AFP) පවසන්නේ, මෙම මත්ද්‍රව්‍ය තොගය සමාජගත වූවා නම් ඊට අනුබල දෙන සංවිධානාත්මක අපරාධ, මිනීමැරුම් සහ සූරාකෑම් මගින් රට තුළ දැවැන්ත විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බවයි.
මෙම රහසිගත ජාවාරම පිටුපස ජාත්‍යන්තර මට්ටමේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් සිටින බවට සැකකෙරෙනවා.
ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සොයා වික්ටෝරියානු ඒකාබද්ධ සංවිධානාත්මක අපරාධ කාර්ය සාධක බලකාය (JOCTF) මගින් පූර්ණ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියානු බලධාරීන් අවධාරණය කරන්නේ, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කෙතරම් සුක්ෂම උපක්‍රම භාවිත කළ ද, රට තුළට මත්ද්‍රව්‍ය ගෙනඒම වැළැක්වීමට දේශසීමා අංශ දැඩි අවධානයෙන් පසුවන බවයි.









