ඔස්ට්‍රේලියානු නිවාසවල විදුලි බිල අඩු කරගැනීමට Home Battery එකක් මුලින්ම සවි කිරීම හොඳම විසඳුම නොවන බව නව පර්යේෂණයකින් පෙන්වා දෙනවා.
Melbourne බටහිර ප්‍රදේශයේ කාමර තුනක නිවසක් ආදර්ශයට ගෙන කළ ගණනයකට අනුව, මුලින්ම නිවසේ උෂ්ණත්වය රඳවාගැනීම වැඩි කිරීම, හිඩැස් වසා දැමීම සහ බලශක්ති නාස්තිය අඩු කිරීම වඩා වැදගත් බවයි පර්යේෂකයින් පවසන්නේ.
ඊළඟ පියවර ලෙස ප්‍රමාණවත් Solar පද්ධතියක් සවි කර, ගෑස් උණුසුම්කරණය වෙනුවට කාර්යක්ෂම reverse-cycle air conditioner එකකට මාරුවීමෙන් ඉක්මනින් ඉතිරිකිරීම් ලබාගත හැකි බව සඳහන්.
එම ආදර්ශ නිවසේ වාර්ෂික විදුලි, ගෑස් සහ පෙට්‍රල් වියදම ඩොලර් 6,226ක් පමණ වූ අතර, Solar, ගෑස් ඉවත් කිරීම සහ විදුලි වාහනයකට මාරුවීමෙන් වසරකට ඩොලර් 4,400ක් පමණ ඉතිරි කරගත හැකි බව ගණනය කර තිබෙනවා.
මධ්‍යම ප්‍රමාණයේ Home Battery එකක් එකතු කළ විට වාර්ෂික ඉතිරිකිරීම ඩොලර් 5,300ක් දක්වා වැඩිවුණත්, එය සවි කිරීමේ මුල් වියදමත් සැලකිය යුතු ලෙස ඉහළ යනවා.
පර්යේෂකයින් පෙන්වා දෙන්නේ Home Battery එකක් වඩාත් වටිනා වන්නේ නිවසේ ගෑස් උපකරණ සහ පෙට්‍රල් වාහන බොහෝ දුරට ඉවත් කර, නිවස සම්පූර්ණයෙන්ම විදුලියට මාරු කළ පසුව බවයි.
ඒ අනුව විදුලි බිල අඩු කරගැනීමට හොඳම පිළිවෙල ලෙස පළමුව බලශක්ති නාස්තිය අඩු කිරීම, ඊළඟට Solar, පසුව ගෑස් ඉවත් කිරීම සහ අවසානයේ අවශ්‍ය නම් Home Battery එකක් සවි කිරීම නිර්දේශ කර තිබෙනවා.









