පසුගිය වසරේ සිදුවූ බොන්ඩායි බීච් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ පවතින ගිනිඅවි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීම සඳහා Howard පාලන සමයේ ක්‍රියාත්මක වූ වැඩසටහනටත් වඩා දැවැන්ත ‘ගිනිඅවි ආපසු මිලදී ගැනීමේ’ ව්‍යාපෘතියක් අගමැති ඇන්තනි ඇල්බනීසි සහ නිව් සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම අලුත් සංශෝධන යටතේ ප්‍රාන්තයේ පවතින ගිනිඅවි 274,000ක් පමණ නැවත රජයට ලබාගැනීමට නියමිතයි.
මේ අතර, නොවැම්බර් 2 වනදා සිට අමතර ගිනිඅවි භාරදෙන පුද්ගලයින්ට ඩොලර් 1,000 දක්වා ද, ලබන වසර මුල සිට ඉහළ වටිනාකමකින් යුත් ගිනිඅවි සඳහා ඩොලර් 10,000 දක්වා ද මුදල් ගෙවීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන සිය ගණනක පිරිවැයක් වැයවන නමුත්, මහජන ආරක්ෂාව වෙනුවෙන් එය දැරිය යුතු බවයි ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, මෙම පියවර දැඩි ලෙස විවේචනය කරමින් නිව් සවුත් වේල්ස් විපක්ෂ නායිකා Kellie Sloane සඳහන් කළේ, මෙය කිසිසේත්ම ත්‍රස්තවාදීන් හෝ සංවිධානාත්මක අපරාධකරුවන් වැළැක්වීමට සමත් විසඳුමක් නොවන බවයි.
මෙහිදී නීතිගරුක ගොවීන් සහ ක්‍රීඩා වෙඩික්කරුවන් ඉලක්ක කිරීම අසාධාරණ බව ද ඇය කියා සිටියා.
මේ අතර One Nation පක්ෂයේ නායිකා පෝලින් හැන්සන් සහ ගිනිඅවි හිමියන්ගේ සංගම් ද මෙම යෝජනාවට දැඩි විරෝධය පළකර තිබෙනවා.









