සැමෝවා රාජ්‍යයේ Dengue උණ ව්‍යාප්තිය තවදුරටත් පවතින බැවින් එරටට යන සංචාරකයන්ට මදුරු දෂ්ටනවලින් ආරක්ෂා වන ලෙස දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
සැමෝවා සෞඛ්‍ය අමාත්‍යාංශය Dengue ව්‍යාප්තියක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, රෝගීන් වැඩිවීම හේතුවෙන් එරට සෞඛ්‍ය සේවා පද්ධතියටද පීඩනයක් එල්ල වී ඇති බවයි ඔස්ට්‍රේලියානු රජයේ Smartraveller සේවාව සඳහන් කරන්නේ.
මේ අතර ශ්‍රී ලංකාවේද මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත පෙන්වාදෙන්නේ අද වනවිට මේ වසරේ රට පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000කට ආසන්න වී ඇති බවයි.
බස්නාහිර පළාතෙන්, විශේෂයෙන් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම ප්‍රදේශවල ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් දැඩි කර තිබෙනවා.
Dengue උණේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර උණ, දැඩි හිසරදය, ඇස් පිටුපස වේදනාව, මාංශ පේශි සහ සන්ධි වේදනාව, වමනය සහ සමේ රතු පැල්ලම් ඇතිවීම ඇතුළත්.
විශේෂයෙන් උදර වේදනාව, අධික වමනය, ලේ ගැලීම, නිදිමත වැඩිවීම හෝ මුත්‍රා පිටවීම අඩුවීම වැනි ලක්ෂණ ඇති වුවහොත් ප්‍රමාද නොවී රෝහලකට යන ලෙස ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙනවා.
එමෙන්ම ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට මදුරු විකර්ෂක භාවිත කිරීම, දිගු අත් සහිත ඇඳුම් ඇඳීම, මදුරුවන් ඇතුළුවිය නොහැකි නවාතැන් තෝරාගැනීම සහ අවට ජලය එකතු වන ස්ථානවලින් ඈත් වීම නිර්දේශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, Dengue ව්‍යාප්තිය හේතුවෙන් අදාල රටවල් වෙත සංචාරය කිරීම සඳහා තහනමක් පනවා නොමැති අතර සංචාරය අවලංගු කිරීමට වඩා, මදුරු දෂ්ටනවලින් ආරක්ෂා වීම සහ රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත් බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.









